සරල බයිලාවට 55 යි !

මාර්තු 28th, 2023

ශ්‍රී ලංකාවට ආවේනික කලාවක් වන බයිලා කලාව මේ වන විට ලාංකික රසිකයන් තුළින් වියැකි යන කලාවක් බවට පත් වී ඇති බවත්, තමන් ඇතුළු කණ්ඩායම මෙය නැවත ජනගත කිරීමේ කර්තව්‍යක නියැලෙන බවත් සමස්ත ලංකා බයිලා සංගමයේ සභාපති සුමතිපාල පෙරේරා මහතා අද (25) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සඳහන් කළේ ය.

සමස්ත ලංකා සරල බයිලා සංගමයේ 55 වැනි සංවත්සරයට සම්බන්ධ වෙමින් සුමතිපාල මහතා ඒ බව සඳහන් කළ අතර මෙම කලාව වියැකියාමට නොදී රැක ගැනීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය මහත් වෙහෙස මහන්සියක් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සිය ස්තුතිය එහිදී පළ කළේ ය.

දිවයිනේ ප්‍රවීණ බයිලා ගායන ශීල්පින් වන කොලොන්නාවේ එච්.එස්.පද්මකුමාර,ගල්කිස්ස අජීත් රෝහණ ප්‍රනාන්දු,ආදී කලා ශීල්පිහූ බෙහෝ පිරිසක් මෙහිදී ගීත ගායනා කළහ.

මහා සංඝරත්නය, ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා, රාජ්‍ය අස්පර්ශනීය සංස්කෘතික උරුම උපදේශක සභාවේ සභාපති මහාචාර්ය කමල් වලේබොඩ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.