සිව්හෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේ 11 වන සම්මේලනය

සැප්තැම්බර් 30th, 2022

අංගම්පොර සටන් කළාවේ ආරම්භය මීට වර්ෂ33,000 කට එපිට අතීතයට දිව යන බවට නොයෙක් විද්වතුන් විවිධ මත පළ කරනු ලබයි. ඇම්බැක්කේ පැරණි සටන් කැටයම් තුළින් අංගම්පොර සටන් ක්‍රමය නිරූපණය වන බවටත් විවිධ මත පවතියි. හෙළය තුල ජීවත්වූ යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර – අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සඳහා මෙම සටන් ක්‍රමය භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. මෙම සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකි බව ඉතිහාසඥයන් සඳහන් කරයි.

අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර යනුවෙන් හඳුන්වන්නේ සටනයි. නිරායුධව කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වන බවට මත පවතිනවා. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනවා. අංගම් ශිල්පයේ ප්‍රවීණයෙකු වීම සදහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාම සම්පුර්ණ අංගම් සටන් කලාව ඉගෙන ගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවත කාලය මදි බව කියැවෙනවා. මෙසේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව හෙළ රාජධානි සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක වුණි.

ලංකාවේ ප්‍රචලිත අංගම් ශිල්ප කලායතනයන්, ගුරු කුල සමූහයකින් සැදුම් ලත් සිව්හෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේ 11 වන සම්මේලනය පසුගිය දා(සැප්තැම30) සෙත්සිරිපාය, සංස්කෘතික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණි. එහි සභාපතිත්වය දරන්නේ සිරි කොතලාවල මහතා විසින්. අංගම් ශිල්ප කලාවේ අභිමානය නමින් එතුමන් විසින් රචිත ග්‍රන්ථයක් සහ එන්,සී,කේ කිරිඇල්ල මහතා විසින් රචිත Ramayana & Historical Rawana ග්‍රන්ථය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් වෙත පිරිනැමීම ද මේ අවස්ථාවේ දී සිදුකෙරුණි.

අංගම් ශිල්පය සටන් හෝ නර්තන කලා ශිල්පයක් පමණක්ම නොවේ. අධ්‍යාත්මික ශක්තීන් දියුණු කරගනිමින්, සිත දියුණු කරගනිමින් ගුණගරුක දැහැමි සමාජයක් බිහි කිරීමෙහි ලා උපකාර වන්නා වූ ශිල්ප ක්‍රමයකි. අපේ රටේ යහපත් විනය ගරුක ගුණ දහමින් පිරි සමාජයක් බිහි කරලීම උදෙසා මෙම අංගම් ශිල්පය යොදා ගත හැකි ආකාරය පිලිබඳව ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා පුළුල් ලෙස තම අදහස් පළ කරණු ලැබුවේය.

අංගම්පොර සටන් කලා කරුවන්ගේ සුභ සාධන කටයුතු, ජාතික නිදහස් උත්සවය සඳහා අංගම්පොර සටන් අංගයක් එක් කිරීම, පාසල් විෂය නිර්දේශයට මෙම ශිල්පය සම්බන්ධ කොටසක් එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්චා කිරීම යන කරුණු සම්බන්ධයෙන් අදහස් පළ වුණි.
තවද අංගම්පොර ශිල්පය ප්‍රවර්ධනය සඳහා මෙම විෂය පථයට සම්බන්ධ රාජ්‍ය ආයතන වන ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය යන ආයතන සම්බන්ධ කරගනිමින් සාකච්ඡා කිරීමටත් අමාත්‍යතුමා විසින් කළ යෝජනාවට සියළු දෙනාගේ එකඟතාව පළ කළහ. එසේම අංගම්පොර සටන් කලාව සහ නර්තන සම්ප්‍රදායන් අස්පර්ශ උරුමයක් ලෙස ආරක්ෂා කිරීමට වැඩපිළිවලක් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමු වුණි.

මෙම අවස්ථාව සඳහා ගල්ගමුව ශ්‍රී ශාක්‍යසිංහාරාමාධිපති පූජ්‍ය සුමේධ හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට වදාළ අතර බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ, සිව්හෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනයේ සභාපති සිරි කොතලාවල, උතුරු නැගෙනහිර හිටපු අඥාපති හා ත්‍රීකුණාමලය හිටපු මහ දිසාපති ජනරාල් රංජිත් ද සිල්වා, උතුරු මැද හිටපු පළාත් සභා ලේකම් සංස්කෘතික අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ආචාර්ය සූරිය ගුණසේකර, වේයන්ගොඩ අංගම් ගුරු ආර්.ඒ. සෙනෙවිරත්න, මැද මහනුවර අංගම් ගුරු ඒකනායක, ඇතුළු විවිධ අංගම්පොර ගුරුකුල නියෝජනය කරමින් ගුරුවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණ සිටියහ. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාද මෙම සම්මේලනයේ ආරම්භක අවස්ථාව සඳහා එක්වී සිටියහ.