“සීතාවක උරුම ඓතිහාසික කෞතුකාගාරය” ජනගත කරයි …
ජූලි 21st, 2024සීතාවක පුරවරයේ ඓතිහාසික උරුමයන් ඒකරාශි කිරීම වෙනුවෙන් ඉදි කරන ලද “සීතාවක උරුම ඓතිහාසික කෞතුකාගාරය” විවෘත කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ සීතාවක උරුමය පදනම ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සීතාවක කෞතුකාගාරය ඉදි කිරීම වෙනුවෙන් දායකත්වයන් ලබා දී තිබේ.
මෙම කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පවත්වාගෙන යන අතර ප්රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඓතිහාසික තොරතුරු මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානවල තොරතුරු, සීතාවක යුගය හා සබැඳි නිර්මාණශීලී අනුරූ (ආකෘති), සීතාවක යුගය පිළිබඳ අඳින ලද සිතුවම් ප්‍රදර්ශන මැදිරි හයකින් යුක්තය.
මහා සංඝරත්නය, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, මධ්‍යම සංස්කෘතික අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්වරු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, සීතාවක උරුමය පදනම සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.