
හජ් වන්දනාකරුවන් ගේ ආරක්ෂණ තැන්පතු නැවත පිරිනමයි
අප්‍රේල් 10th, 20232018 සහ 2022 වර්ෂ සඳහා හජ් නියෝජිත ආයතන විසින් හජ් වන්දනාකරුවන් වෙනුවෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලද රක්ෂණ ආරක්ෂක තැන්පතු මුදල මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා හජ් කමිටුව එක්ව අදාළ ආයතන වෙත විධිමත් ලෙස නිදහස් කරනු ලැබුවා. කොළඹ-03 මැන්ඩරීනා හෝටලයේදී ඊ්යේ (06 දා) මෙම වැඩසටහන පැවැත්වුණි.
මෙම අවස්ථාවට සහභාගී වු විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා පැමිණ සිටි පිරිස අමතමින්, අන්‍යෝන්‍ය සහයෝගය සහජීවනය සහ මනුස්සකම පිරුණු සමාජයක් ගොඩනැගීමට සියළු දෙනා දායක විය යුතු බව අවධාරණය කළහ. ලෝකයේ හොඳම භාෂාව හදවතේ භාෂාවයි. මිනිසුන් ලෝකය හදන්න මේ තත්වයට ගේන්න බොහෝ කැප කිරීම් කළා. මහම්මද්තුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්, මඟපෙන්වන්නෙක්, දාර්ශනිකයෙක් හැටියට විශාල කැප කිරීමක් කළා. ඒ කැපකිරීම් නැවත සිහිපත් කර ඒවායේ අගය වටහාගෙන අපි කටයුතු කළ යුතුයි. මනුස්සකම අපෙන් ඉක්මනින් ඈත්වෙනවා. තරුණයින් පල්ලියෙන් ඈත්වෙනවා. මේ පිළිබඳව පිළිතුරු සොයන්න කාලය ඇවිත්. මේ සඳහා ඔබේ සමාජයේ මුස්ලිම් සොයුරන්, සොයුරියන්, පියවරුන්, මෑණිවරුන්, දූලා, පුතාලා සියළු දෙනාම වෙනුවෙන් ගතහැකි සාධාරණ මානුෂික පියවර ගැනීමට අපි පසුබට වෙන්නැහැ. මේ හජ් වන්දනාවෙ මනුස්සකම තේමා කරගෙන අපි ඒ කටයුතු කරමු යැයි ද අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියහ.
අපේ රටේ එකමුතුකම්, සහෝදරත්වයේ බැඳම් තව තවත් ශක්තිමත් වේවායි ද අල්ලා දෙවිඳුන් ගේ පිහිට ලැබේවායි ද උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඔබටත් ඔබේ පවුලේ සියළු දෙනාටත් මුළු මහත් සමාජයටත් යහපතක්ම වේවා යී ද අමාත්‍යතුමා සියළු දෙනාට සුභ ප්‍රාර්ථනා කළහ.
අමාත්‍යාංශයේ ලේකම්තුමන්, හජ් කමිටුවේ සභාපති ඉබ්‍රාහිම් අන්සාර් මහතා ඇතුළු හජ් කමිටු සාමාජිකයින්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිළධාරින්, ශ්‍රී ලංකා හජ් නියෝජිත සංගමය හා සමස්ත ලංකා හජ් නියෝජිත සංගමයේ සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණි. පිළිගැනීමේ කතාව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉසෙඩ්. ඒ. එම්. ෆයිසල් මහතා විසින් ද ස්තූති කතාව හජ් නියෝජිත සංගමයේ සභාපති රිස්මි හාජියාර් මහතා විසින් ද පැවැත් වූහ.