
හඳපාන්ගොඩ එන්.එන්. සේදරමන් ප්‍රනාන්දු අනුස්මරණ කලාගාරය සහ සංස්කෘතික කෞතුකාගාරය විවෘත කිරීම
සැප්තැම්බර් 3rd, 2022අපේ රටේ පහතරට නර්තන කලාව ලොව පතල කිරීමෙහිලා පූරෝගාමී සේවාවක් ඉටු කල හඳපාන්ගොඩ එන්.එන්. සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පියාණන් අපේ රටේ නර්තන කලාව වෙනුවෙන් සිදුකල සේවය අගය කරමින් එතුමන් වෙනුවෙන් අනුස්මරණ කලාගාරය සහ සංස්කෘතික කෞතුකාගාරය විවෘත කිරීම පසුගිය දා සිදු කරනු ලැබුවා.
1936 වර්ෂයේ උපත ලැබූ සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පියාණන් 1961 වර්ෂයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සංස්කෘතික කලා ප්‍රසංගයට සහභාගී වූ අතර එමඟින් අප රටට ඉමහත් ගෞරවයක් ලබා දීමට එතුමන් එදා සමත් වූණා. එඩිම්බරෝ ආදිපාද තුමන් වෙතින් රන් පදක්කම් හිමිකර ගනිමින්, 1970 දී ඉන්දීය ජනාධිපතිතුමන් වෙතින් රන් කුසලාන හිමිකර ගනිමින් අප රටට ඉමහත් කීර්තියක් ලබා දුන් එතුමන් 1994 වර්ෂයේ දී කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබමින්, 1999 වර්ෂයේ දී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවා.
අපේ රටේ කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පුරෝගාමී සේවාවක් සිදුකල එතුමන් විසින්, කලා ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් විශිෂ්ට සිසු පරපුරක් බිහි කරලීමට සමත් වුණා. එතුමන් විසින් ජාතික හා ජාත්‍යන්තර මෙහෙවර ඇගයීමට හා එය අනාගත පරපුර වෙත සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන යොදවා හඳපාන්ගොඩ එන්. එන්. සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පීයාණන් නමින් මෙම කලාගාරය ඉදිකොට පසුගියදා ජනතා අයිතියට පත්කරණු ලැබුවා.
සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පියාණන්ගේ බිරිඳ හා දරුවන් ද එතුමන් ගේ සමකාලීන කලාකරුවන් ද බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්(සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අධ්‍යක්ෂ (සැලසුම්) සෝමසිරි ඒකනායක, හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්, හොරණ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කමල් පෙරේරා, ඉංගිරිය සහකාර ප්‍රාදේශීය ලේකම්, හඳපාන්ගොඩ විදුහලේ විදුහල්පතිතුමන්, අවට පාසල් වල විදුහල්පතිවරුන්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් බොහෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් වී සිටියා.