හිඳගල බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු කඩිනමින් කරන්න, බුද්ධ ශාසන අමාත්‍යවරයාගෙන් නිලධාරින්ට උපදෙස් !

සැප්තැම්බර් 30th, 2022

ශ්‍රී ලාංකේය ප්‍රෞඪ ඉතිහාසයේ යුග හතරක් නියෝජනය කෙරෙන එමෙන් ම, මෙරට පැරණිතම බිතුසිතුවම සහිත හිඳගල ඓතිහාසික රජමහ විහාරස්ථානයේ බිතුසිතුවම් විනාශ මුඛයට යා නොදී සංරක්ෂණය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් එම විහාරස්ථානය වෙත ගියහ.

වසර 1800කට අධික පෞරාණික වටිනාකමකින් යුත් රජමහ විහාරස්ථානයේ පිහිටි මෙරට පැරණිම බිතුසිතුවම සහ අනුරාධපුර, ගම්පොළ, කෝට්ටේ සහ මහනුවර යුගයට අයත් බිතුසිතුවම් හා පිළිමවහන්සේලා රැසක්ම මෙම ඓතිහාසික විහාරස්ථානය තුළ පවති.

බිතුසිතුවම් සහ පිළිම වහන්සේලා විනාශ මුඛයට යා නොදී කඩිනමින් සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳව වැඩ පිළිවෙලක් සකසන ලෙස, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

මෙම අවස්ථාව සඳහා ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල්(රන්මිණිතැන්න වැඩබලන) සෝමසිරි ඒකනායක, කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත්, අධ්‍යක්ෂ එම්.පී.ඩබ්. ශිරෝමනී, උප සභාපති නලින්ද මාකෙහෙල්වල, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමිත් ප්‍රනාන්දු ඇතුළු ආයතන නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.