ජාතික සාහිත්‍ය සහ කලා තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය – 2024

දෙසැම්බර් 11th, 2024

නිර්මාණාත්මක කුසලතාවයන් ඔප්නැංවීම අරමුණු කරගනිමින් පවත්වන ලද ජාතික සාහිත්‍ය සහ කලා තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී අද ( 11 ) පැවැත්විණි.
එහිදී මෙම තරඟාවලිය සඳහා යොමු කර තිබූ චිත්‍ර නිර්මාණ 3000 ක් අතරින් චිත්‍ර 200 ක ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා තෝරාගත් අතර එම තරඟකරුවන් වෙත සහතික හා සම්මාන ප්‍රදානය කිරීම සිදුවිය.
ඒ අනුව පාසල් අංශයේ ප්‍රථම ස්ථානය චමන්දා සංජලී නන්දසිරි, පාසල් විශේෂ අංශයේ ප්‍රථම ස්ථානය ලෝසානි තියේත්මා බමුණුසිංහ, විවෘත අංශයේ ප්‍රථම ස්ථානය තෙලිකඩ ගමරාලලාගේ දිලිනි නිසංසලා සහ විවෘත විශේෂ අංශයේ ප්‍රථම ස්ථානය සඳුන් කාවින්ද සේනාරත්න දිනා ගැනිණි.
එසේම අනෙකුත් තරඟකරුවන් සඳහා ද කුසලතා සහතිකපත් එහිදී ප්‍රදානය කෙරිණි.
මෙරට ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ආබාධ සහිත ප්‍රජාවගේ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශය මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
මෙම තරඟාවලිය පිළිබඳව ආබාධ සහිත ප්‍රජාව දැනුවත් කිරීම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හරහා සිදු කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, යන මහත්වරු, අමාත්‍යාංශ නිලධාරීහු, ආබාධ සහිත ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.