මෙවර “සාහිත්‍ය යාත්‍රාව“ ඩෙල්ෆ්ට් දූපතට යාත්‍රා කරයි…

ජූලි 31st, 2023

“සාහිත්‍ය යාත්‍රා“ පාසල් පුස්තකාල සංවර්ධන හා භාෂා සාහිත්‍යය කලා ප්‍රවර්ධන වැඩ සටහන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර යාපනය දිස්ත්‍රික්කයට අයත් ඩෙල්ෆ්ට් දූපතෙහි පිහිටි ඩෙල්ෆ්ට් ජාතික පාසලේ දී පැවැත්විණි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළට සමගාමීව, රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සංකල්පයක් මත ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගැනුම් හා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන දමිල මාධ්‍යයේ පාසල් දෙකක් වැඩසටහන සඳහා මෙවර තෝරා ගැනිණි.

මෙහි පළමු වැඩසටහන ඩෙල්ෆ්ට් ජාතික පාසලේ දී පැවැත්වූ අතර, පුස්තකාල ප්‍රවර්ධනය සඳහා පොත් ලබා දීම සහ දරුවන්ගේ කලා හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව මඟින් දරුවන් සදහා චිත්‍ර වැඩමුළුවක් ද මෙහිදී පැවැත්විණි.

මෙහි දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීමක් ද සිදු කළේ ය.

වැඩසටහනට සමගාමීව යාපනය ඌෂන් රාමනාදන් විද්‍යාලයේ පුස්තකාල සංවර්ධනය සඳහා අවශ්‍ය පොත් ප්‍රදානයක් හා යාපනය අධ්‍යාපන කලාපයේ දරුවන් සඳහා සාහිත්‍ය දේශනයක් පැවැත්වීම ද යාපනය හින්දු විද්‍යාලයේ දී සිදු කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,රාජ්‍ය සහිත උපදේශක සභාව, රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව,ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් මෙම වැඩසටහන සිදු කෙරිණි.