132වැනි ජාතික පුරාවිද්‍යා දිනය අදයි….

ජූලි 7th, 2022

මෙරට 132වැනි ජාතික පුරාවිද්‍යා දිනය යෙදෙන ජුලි (07) අද දිනය නිමිත්තෙන් ජාතික පුරාවිද්‍යා සමුළුවේ සමාරම්ක උත්සවය කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

වර්ෂ 1890 ජූලි 07 දින මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා අනුරාධපුරයේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ කිරීමේ දිනය අනුස්මරණය කිරීම සඳහා සෑම වසරකම ජූලි 07 දින මෙරට ජාතික පුරාවිද්‍යා දිනය වශයෙන් සලකනු ලබයි.

හෙළයේ ඉපැරැණි ධාන්‍ය වගාව , ඉපැරැණි කෘෂි කාර්මික ජන ජීවිතය අලළා පර්යේෂණ රැසක් මෙරටට දායාද කළ ප්‍රාමාණික විද්වතෙක් වූ මහාචාර්ය ටී. ආර්. ප්‍රේමතිලක මහතා මෙවර ජාතික පුරාවිද්‍යා සමුළුවේ මුඛ්‍ය දේශනය සිදු කළේ ය.

132වැනි ජාතික පුරාවිද්‍යා දිනට සමගාමීව වැඩසටහන් මාලාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයන්හි, ජූලි 01 දින සිට 14 දින දක්වා ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා තිබේ.

ජාතික පුරාවිද්‍යා දිනට සමගාමීව “භූපති“ නම් පුරාවිද්‍යාව පිළිබදව සිංහල භාෂාවෙන් ලිපි අඩංගු සඟරාවක් සහ අන්තර්ජාතික මට්ටමේ ලිපි ඇතුළත් ප්‍රකාශනයක් ලෙස “The past“ නම් සඟරා දෙකක් ද මෙම සමාරම්භක උත්සවයේ දී එළි දැක්වුණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාණපතිරණ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.