
2022 ජාත්‍යන්තර අමද්‍යප දින වැඩසටහන “ප්‍රජාවගේ දිරියෙන් මතින් නිදහස් රටක්”
ඔක්තෝබර් 5th, 2022ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් සංවිධානය කළ 2022 ජාත්‍යන්තර අමද්‍යප දින වැඩසටහන “ප්‍රජාවගේ දිරියෙන් මතින් නිදහස් රටක්” යන තේමාව මුල් කර ගනිමින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දේශන ශාලාවේ දී 2022.10.03 දින පස්වරු 2.00 සිට පැවත්විණි. එම අවස්ථාව සඳහා ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතුමහා විහාර පාර්ශවයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන්වහන්සේ, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ උපදේශක ශාස්ත්‍රපති පූජ්‍ය දෙනගම ධම්මාරාම ස්වාමීන්වහන්සේ හා අන්‍යාගමික පූජක උතුමන්ලා, මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ශ්‍රී දළඳා මාලිගාවේ සම්බන්ධීකරණ නිලධාරී ජයම්පති වැද්දාගල යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
මෙම වැඩසටහනෙහි ප්‍රධාන දේශනයන් පවත්වනු ලැබූයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී කථිකාචාර්ය එන්.ආර්.අමරසිංහ මහතා සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා තුෂාරි චන්ද්‍රසේකර යන අය විසිනි. එන්.ආර්.අමරසිංහ මහතා මෙහිදී “ මෙම වසරේ මෙරට මද්‍යසාර පරිභෝජනයේ ප්‍රමාණයට වඩා එළඹෙන වසරේ අමද්‍යප දින වැඩසටහන පවත්වන අවස්ථාව වන විට මෙරට පුද්ගල මද්‍යසාර පරිභෝජනයේ ලීටර් ප්‍රමාණය අවම විය යුතු බවයි. එසේ වීමට නම් සියළු දෙනා කැපවීමෙන් මද්‍යසාර පිළිබඳව පවතින මහජන ආකල්ප වෙනස් කිරීම සඳහා ප්‍රජාව සමඟ එක්ව කටයුතු කළ යුතුය යන්න අවධාරණය කරන ලදී. මෙම වසරේ ජනවාරි මස සිට ජූනි මාසය දක්වා ප්‍රජාවේ මද්‍යසාර පරිභෝජනය ලීටර් මිලියන 120 ක් පමණ වන බවත් එය ඛේදනීය තත්ත්වයක් බවත් සඳහන් කරන ලදි.”
ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතාගේ පූර්ණ දායකත්වය මත දළඳා මාලිගා පරිශ්‍රය තුළ මෙවර ජාත්‍යන්තර අමද්‍යප දින වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලැබීම ftතිහාසික වශයෙන් ද වැදගත් වන බව වැඩිදුරටත් සඳහන් කරන ලදි.
මෙම වැඩසටහන සඳහා ත්‍රිවිද හමුදාව, ශ්‍රි ලංකා පොලීසිය, සුරාබදු දෙපාර්තමෙන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතනයන්ගේ නියෝජිත පිරිස් සහ සර්ව ආගමික දහම් පාසල් ගුරු භවතුන්, ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් තරුණ කණ්ඩායම් ද සහභාගී වුුහ.