75 වන නිදහස් දිනට සමගාමීව නිදහස් රටක් දිනා දීමේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ කෝට්ටේ සිංහයා නමින් විරුදාවලී ලත් ගරු ඊ.ඩබ්. පෙරේරා මැතිඳුන් ගේ ගුණ සැමරේ

පෙබරවාරි 13th, 2023

වර්ෂ 1915 දී ජාතික නායකයන් සහ ජනතාව ඝාතනය කරමින් ඇතිවූ කළහාකාරී තත්වය සමනය කිරීම සඳහා උපක්‍රම ශීලී ලෙස බ්‍රිතාන්‍යයට ගොස් ගරු පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා සමඟ එක්ව එවකට පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනමාධ්‍යවලට ලංකාවේ තත්වය අවබෝධ කරදී එම තත්වය සමනයකර ගැනීමටත් සිරගත කර සිටි ශ්‍රී ලාංකීය නායකයන් නිදහස් කරගැනීමටත් ලංකාවේ එවකට සිටි ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමටත් කටයුතු කිරීමට එතුමන් පුරෝගාමී මෙහෙවරක් සිදු කළහ. 1924 දී කළුතර මන්ත්‍රීවරයෙකු ලෙසත් 1931 දී සර්වජන ඡන්ද බලය සහිත මැතිවරණයේ දී හොරණ ආසනයේ මන්ත්‍රී වරයා‌ ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වූ එතුමන්, රට වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකරණු ලැබුවහ.
රට වෙනුවෙන් තම ජීවිතය කැප කළ ඊ.ඩබ්. පෙරේරා මැතිඳුන් වෙනුවෙන්, අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ගුණ සමරු උත්සවය පසුගිය (09) දා සංවිධානය කර . මෙහි දී ඊ.ඩබ්. පෙරේරා මැතිඳුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූහ. ඊ.ඩබ්. පෙරේරා මැතිඳුන් වෙනුවෙන් ගුණානුස්මණ දේශණ ද පැවැත්වූ අතර එතුමන් පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් ඊ.ඩබ්. පෙරේරා මැතිඳුන් ගේ මුණුපුරෙකු වන හර්බට් පෙරේරා මහතා විසින් අමාත්‍යතුමාට පිළිගන්වනු ලැබුවා.
කෝට්ටේ රජ මහා විහාරාධිපති පුජ්‍ය අළුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා ඊ.ඩබ්.පෙරේරා මැතිඳුන්ගේ ඥාතීන් ද සහභාගී වී සිටියා. තවද පාරිලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මැතිතුමන්, ශ්‍රී ජයවර්ධනපුර නගරාධිපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමන්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමන් සහ එහි ආයතන ප්‍රධානීන් ඇතුළු බොහෝ පිරිසක් ද එක්ව සිටියහ.