“Path to Freedom” 75 වන නිදහස් සැමරුම් ප්‍රදර්ශණය මෙම 04 දා සිට 10 දා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ දී…

පෙබරවාරි 7th, 2023

අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ගේ පූර්ණ උපදෙස් මත සහ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය තුළින්, කිසිදා ඔබට දැක ගැනීමට නොලැබෙන කෞතුකභාණ්ඩ, දුර්ලභ ලිපිලේඛණ, පුස්කොල ග්‍රන්ථ රාශියක් දැක ගැනීමට අවස්ථාව ලබා දී  ඇත. 1972 දී බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් පූර්ණ වශයෙන් මිදුණු කාලවකවාණු දක්වා බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රාථමික මූලාශ්‍ර ගිවිසුම් ආදී වසර 150 පුරා පැතිරුණු අපේ රටේ වැදගත් සංධිස්ථාන රාශියක මතක සටහන් මෙහි දී සියැසින් දැක බලා ගැනීමට හැකියාව ඇත.
75 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් “Parth to Freedom” කෞතුක භාණ්ඩ හා ඓතිහාසික සුවිශේෂී ලිපිලේඛණ ප්‍රදර්ශණය, ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වන දා කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ දී විවෘත කරනු ලදී. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් ගරු ජනාධිපතිතුමා මෙහි දී පිළිගනු ලැබුවෙිය.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව සංවිධානය කරණු ලැබූ මෙම ප්‍රදර්ශණය විවෘත කළ අවස්ථාවේ දී ගරු ජනාධිපතිතුමන් ඇතුළු අමුත්තන් වෙත, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග යන මහත්ම මහත්මීන් විසින් සමරු තිළිණ සහ ග්‍රන්ථ ප්‍රධානය කරණ ලදී. ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන් මෙන්ම අදාල අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූූහ.
ඔබේ ජීවිතයේ කිසිදා නොදුටු දුර්ලභ අත්දැකීමක්, ඓතිහාසික වැදගත්කම් පිළිබඳ අධ්‍යාපනික දැනුමක් ලබා ගැනීමට මහඟු අවස්ථාවක් “Path to Freedom” ප්‍රදර්ශනය ඔබට ලබා ‌‌ දෙනු ඇත.
මෙම ප්‍රදර්ශණය පෙබරවාරි 4 වැනිදා සිට 10 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට 5.00 දක්වා කොළඹ කෞතුකාගාරයේ දී ඔබට දැකගැනීමට හැකියාව ඇත.