කොත්මලේ පුසුල්පිටිය රජ මහා විහාරය ප්‍රතිසංස්කරණයට සහ සංරක්ෂණයට උපදෙස්.
නොවැම්බර් 17th, 2022
දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද පළමු චෛත්‍ය ලෙස විශ්වාස කෙරෙන කොත්මලේ, නවංගම පිහිටා තිබෙන පුසුල්පිටිය රජ මහා විහාරයේ විහාර ගෙය මහනුවර, ගම්පොල සහ කොළඹ යුගයන් හි බිතුසිතුවම් රාශියකින් සමන්විත අතර ඉපැරණි පුස්කොළ ග්රන්ථ රාශියක් ද තැන්පත් කර ඇති අපේ රටේ තවත් ඓතිහාසික පුරා වෘත්තයකට උරුමකම් කියන පූජා භූමියකි. දළදා වහන්සේ තුන් වරක් මෙම පුජා ස්ථානයේ වැඩසිටි බවත්, මලියදේව මහරහතුන් වහන්සේ වැඩසිටි බවත් විශ්වාස කෙරෙනවා. වර්තමානයේ මෙහි භාරකාරත්වය දරන්නේ විහාරාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ සුධම්ම හිමිපාණන් වහන්සේ විසිනි.
විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ඇතුළු අදාල ආයතන රාජ්‍ය නිලධාරීන් පසුගිය (13) දා මෙම ඓතිහාසික පූජා භූමියෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සහ සංරක්ෂණ කටයුතු සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණියහ. එහි දී මෙවන් ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරගනිමින් දෙස් විදෙස් සංචාරක ආකර්ශණය දිනා ගත හැකි ආකාරයෙන් සංවර්ධන කටයුතු කිරීමටත් ඉතිහාස ගවේශණනය කරන්නන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ගතයුතු පියවර සම්බන්ධයෙනුත් අමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේය.
අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) අනෝජා පී ගුරුගේ, කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ අධ්යක්ෂ ඩබ්.ශිරෝමනී ඇතුළු විෂය භාර ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්යමණ්ඩල නිලධාරීන්, කොත්මලේ ප්‍රාදේශීය ලේකම්, පුසුල්පිටිය ග්‍රාමනිලධාරී ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ද මේ සඳහා සහභාගී වුණි.