චූල පුස්ථක පිරුවාණා පොත් වහන්සේ පිලිගැන්වීම

පෙබරවාරි 28th, 2023

දෛනික ආමිස පූජාවන්ගෙන් පිදුම් ලැබිය යුතු පිරුවානා පොත් වහන්සේ, දෙදහස් පන්සිය පනස් වසරක ඉතිහාසයේ චූලම වූ පුස්තක රත්නය ලෙසින් (ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ) කරඬුවක තැන්පත් කොට, සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට නිරන්තරයෙන් ආමිස පූජා පැවැත්වීමට හැකිවන පරිදි නිර්මාණය කර තිබේ.

අනුරාධපුර යුගයේ මහා විහාරික මහ රහතන් වහන්සේලා විසින් මීට අවුරුදු 1600 කට පමණ ප්‍රථම එක් පාදයකට අකුරු 8 බැගින් වන පාදා 4 කින් යුත් ගාථා 1000ක් එනම් අකුරු 32,000 වන සේ මෙම පිරුවාණා පොත් වහන්සේ ප්‍රථමයෙන්ම සකස් කෙරුණි. චතුත් බණ වර පාලි ලෙස එකළ මෙය හඳුන්වනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ප්‍රධානතම සූත්‍ර 28ක් ඇතුලත් කර මෙම පිරුවාණා පොත් වහන්සේ සම්පාදනය කර තිබේ. බුද්ධරත්නය වන්දනාමාන කිරීමට සංකේතයක් ලෙස ධාතූන් වහන්සේලා සහිත කරඬු ඇතත්, ධර්ම රත්නය වන්දනා කිරීමට සංකේතයක් නොමැති බැවින් ඒ සඳහා මෙම පුස්ථකය වන්දනාමාන කිරීමට හැකියාව ලැබේ. නිවෙස් හී දානයම පින්කම් වලදී සධාතුක ධාතු කරඬුවත් සමඟ ධර්ම රත්නය සංකේතවත් කිරීමට කුඩාවට සකස් කරන ලද මෙම පිරුවාණා පොත් වහන්සේ කරඬුවක බහා වැඩම කිරීමේ හැකියාව තිබේ.

අද දින (27) මෙලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී, අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා වෙත මෙම චූල පුස්ථක පිරුවාණා පොත් වහන්සේ සම්පාදනය කළ නාලක රත්නායක මහතා විසින් එය පිළිගන්වනු ලැබීය. මේ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කර අමාත්‍යංශයේ ද දායකත්වය සහිතව දීපව්‍යාප්ත වැඩසටහනක් සකස් කිරීමට අමාත්‍යතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබා දුනි.