සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දියානු කවුන්සිලයේ 75 වන ආරම්භක දින උත්සවය කොළඹ දී…

අප්‍රේල් 29th, 2024

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා පිහිටුවා ඇති සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දියානු කවුන්සිලයේ (ICCR) හි 75 වැනි ආරම්භක දිනය සැමරීමේ උත්සවය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී අද (29) පැවැත්විණි.

කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ලද මෙම උත්සවය සංස්කෘතික සංහිඳියාව ඉස්මතු කෙරෙන ඉන්දියානු සම්භාව්‍ය නැටුම් සහ සංගීත අංගවලින් විචිත්‍රවත් විය.

එසේම ඉන්දියානු කවුන්සිලයේ (ICCR) 75 වැනි ආරම්භක දිනය නිමිති කරගනිමින් පැවැත්වූ ප්‍රතිභා සංගම් තරඟාවලියෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන් සඳහා මුල්‍යම ත්‍යාග ලබාදීමද එහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ආචාර්ය අන්කුරන් දත්තා යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.