ඓතිහාසික මරද මඩු ජාතික සිද්ධස්ථානයේ අගෝස්තු මංගල්‍යය අති උත්කර්ෂවත්ව !

අගෝස්තු 22nd, 2023

මන්නාරම පදවියේ පිහිටි ඓතිහාසික මරද මඩු ජාතික සිද්ධස්ථානයේ අගෝස්තු මංගල්‍යය, ලක්ෂ පහකට අධික බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිද්ධස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
වතිකානු තානාපති අති උතුම් බ්‍රයන් උඩන්ග්වේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්ද්‍රාදි, ගාල්ල රදගුරු අතිඋතුම් රේමන්ඩ් වික්‍රමසිංහ හා කොළඔ සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ සහභාගිත්වයෙන් යුක්තව මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වූ අතර දිවයින පුරා විවිධ පදවි නියෝජනය කරමින් පූජාප්‍රසාදීන්වහන්සේලා හා පැවදි සොයුරියන් විශාල සංඛ්‍යාවක් ද මේ සඳහා එක්ව සිටියහ.
මෙම අති උත්කර්ෂවත් මංගල්‍ය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු,ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරු සහ රාජ්‍ය අමාත්‍යවරු වන අරුන්දික ප්‍රනාන්දු,කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සෙල්වම් අඩෙක්කලනාදන්,චාර්ල්ස් නිර්මලනාදන්, කාවින්ද ජයවර්ධන යන මහත්වරු හා සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ.
වන්දනා ගමන් ආඥා පණත යටතේ ප්‍රකාශයට පත්කොට ඇති මෙම මංගල්‍ය සදහා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන අතර, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ රාජ්‍ය ආයතන මඟින් බැතිමතුන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීම සිදුකෙරිණි.