
ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය මෙවර මන්නාරම දී උත්සවාකාරයෙන් සැමරීමට පියවර…
සැප්තැම්බර් 8th, 2023මෙවර ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුරෛ මුස්ලිම් මහා විද්‍යාලයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන අතර, උත්සවයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අද (08) පැවැත්විණි.
මීලාද්-දුන්-නබි සැමරුම සැප්තැම්බර් මස 28 වන දිනට යෙදී ඇති අතර, ඊට අදාළ ජාතික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන අතර, මේ සඳහා සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් යටිතල හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
උත්සවය පවත්වන සතිය මීලාද් සතියක් වශයෙන් නම් කරන අතර, සමරු මුද්දරයක් නිකුත් කිරීමක්, ලේ දන්දීමේ වැඩසටහනක්, රුක් රෝපණ වැඩසටහනක්, දුගී ජනතාව සඳහා සහන මළු ලබාදීම, පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් ලබාදීම, ක්‍රීඩා තරඟ සහ සංස්කෘතික කලා අංග වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත ය.
බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු අමාත්‍යාංශ සහ ආගමික අංශ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරුන් සහ රාජ්‍ය නිලධාරිහු, මාර්ගගත ක්‍රමය ඔස්සේ මන්නාරම හා උතුරු පළාත්හි රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.