ඓතිහාසික මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය අති උත්කර්ෂවත්ව…

සැප්තැම්බර් 11th, 2023

මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය බැතිමතුන් විශාල
පිරිසකගේ සහභාගීත්වයෙන් සිද්ධස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සන්ධ්‍යා මෙහෙයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ සහයක රදගුරු අතිඋතුම් ජේ.ඩී.ඇන්තනී හිමිපාණන්, දකුණු පළාත් රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය රේමන් වික්‍රමසිංහ හිමිපාණන් ඇතුළු
දිවයින පුරා විවිධ පදවි නියෝජනය කරමින් පූජාප්‍රසාදීන්වහන්සේලා හා පැවදි සොයුරියන් විශාල සංඛ්‍යාවක් ද මේ සඳහා එක්ව සිටියහ.

වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය සඳහා මහ සංඝරත්නය,අන්‍ය ආගමික පුජකවරු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ,මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි යන මහත්වරු හා සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ.

වන්දනා ගමන් ආඥා පණත යටතේ ප්‍රකාශයට පත්කොට ඇති මෙම මංගල්‍ය සදහා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන අතර, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ රාජ්‍ය ආයතන මඟින් බැතිමතුන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීම සිදුකෙරිණි.