65 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව…

සැප්තැම්බර් 18th, 2023

සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් අගයනු වස් පුද කෙරෙන “රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල“ අද (14) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයෝ තිදෙනකු උදෙසා මෙවර සාහිත්‍යරත්න සම්මානය පුද කළ අතර, සිංහල භාෂාව උදෙසා සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර,ඉංශ්‍රීසි භාෂාව උදෙසා මහාචාර්ය ජරල්ඩ් හර්බට් පීරිස්, දමිළ භාෂාව උදෙසා කේ.සට්ටනාදන් යන මහත්වරුන් මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

ආර්ථීක දුෂ්කරතා හමුවේ වුවද රාජ්‍යය සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවයේ නිර්දේශිත සම්මානලාභින් සඳහා ප්‍රථම වරට නිර්දේශිත කෘති සඳහා ද අදාළ ලේඛක-ලේඛිකාවන් වෙත මුල්‍ය ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම විෂයය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙහිදී සිදු කෙරිණි.

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් සභාපතිත්වය දරණ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ විද්වත් මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්මානිත ග්‍රන්ථ තෝරා ගැනීම මෙහිදී සිදුකරන අතර ජීවිතයේ එක්වරක් පමණක් පුදකෙරෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මෙන්ම අංශ ගණනාවක් යටතේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් මෙම විශිෂ්ටයෝ උලෙළෙදී පිදුම් ලැබුහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන්,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන
යන මහත්ම මහත්මිහු සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්කර්ෂවත් අවස්ථාවට එක්වුහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.