ඓතිහාසික සිද්ධස්ථාන හයක් පූජාභූමි ලෙස නම් කෙරේ…

සැප්තැම්බර් 27th, 2023

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන පහක් සහ දේවාලයක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) සිදු විය.

වෙල්ගම රජමහා විහාරය,පාතදුම්බර මීගම්මන රජමහා විහාරය , ගංගොඩවිල ශ්‍රී විජයාරාම රජමහා විහාරය,පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් රජමහා විහාරය, මින්නේරිය මහසෙන් රජමහා විහාරය සහ රුවන්වැල්ල ශ්‍රී සිද්ධ සත් පත්තිනි දේවාලය මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කළ අතර, පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිදු කළේ ය.

දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිධාරී අත්තංගනේ සාසනරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.