
නැවතත් අප සතු වූ “උදුරාගත් අපේ උරුමය“ සියැසින් දැක බලා ගැනීමට මහජනතාවට අවස්ථාව…
දෙසැම්බර් 5th, 2023ලන්දේසි සමයේ දී ශ්‍රී ලංකාවෙන් පැහැරගෙන ගිය පසුව නෙදර්ලන්ත රජය මඟින් මෙරටට ලබා දුන්, මේවන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති රාජකීය කෞතුක භාණ්ඩ මහජනතාව වෙත දැක බලා ගැනීම සඳහා විවෘත කිරීම අද (05) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
නෙදර්ලන්ත රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අන්තර්ජාතික සංස්කෘතික සහයෝගිතා කටයුතු තානාපති දේවි වැන්ඩවීඩ්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක්, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කළහ.
‘උදුරාගත් අපේ උරුමය නැවත අපිට’ යන තේමාව යටතේ උත්සවයේ කටයුතු සිදු කෙරුණු අතර, සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
වසර ගණනාවක සිට විදේශ රටක දේශගුණ තත්ත්වයක් යටතේ පැවැති මෙම කෞතුක භාණ්ඩ මෙරට දේශගුණ තත්ත්ව යටතේ සුදුසු පරිදි ආරක්ෂා සහිතව තැන්පත් කර ඇති අතර, මෙම උත්සවයට සමගාමීව දෙසැම්බර් 06 දිනයෙත් ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ ද සඳහන් කළේ ය.
කාලයත් තිස්සේ අන්සතු වූ ඔබේ උරුමය නැවත ඔබ සතු වී තිබෙනවා.මෙම උරුමය ඔබ සතු කරන්න ජනධිපතිතුමාගේ සිට මහජනතාව දක්වා බොහෝ පිරිස් ඉතාම කැපවීමෙන් වගේම ඉතා ඕනෑකමින් කටයුතු කළා.ඒ සියලුම දෙනා හට කෘතඥ පූර්වක ස්තුතිය පුද කරනවා.
නැවත මෙරටට ගෙන එන මෙම කෞතුක භාණ්ඩයන් හි ආරක්ෂාව පිළිබඳව, බොහෝ දෙනෙක්ගේ දුර්මතයක් තිබ්බා.තවත් ඒ පිළිබඳව සැකයක් තබා ගත යුතු නැහැ.විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් යටතේ මෙම රාජකීය කෞතුක භාණ්ඩ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.නෙදර්ලන්තයේ වගේම තවත් ලෝකයේ බොහෝ රටවලට අපේ උරුමයන් රැගෙන ගිහින් තියෙනවා.ඒ සියලු දේවල් නැවත අපේ රටට ලබා ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
දැනට අප රට පුරා විසිරි තිබෙන අප්‍රකට පුරාවිද්‍යා ස්ථාන සංචාරක කර්මාන්තය සඳහා ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩ පිළිවෙලක් අප සකස් කරමින් සිටිනවා. 2024 වර්ෂයේ සිට මෙම නව වැඩසටහන් ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) නිශාන්ති ජයසිංහ, අතිරේක ලේකම් (පාලන වැඩබලන) තිලක් නන්දන හෙට්ටිආරච්චි, සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී රණසිංහ, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ යන මහත්ම මහත්මිහු ඇතුළු නිලධාරිහු , නෙදර්ලන්ත රජයේ නිලධාරින්, මහජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ