රන් ජුබිලිය සැමැරූ රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළ අති උත්කර්ෂවත්ව…

දෙසැම්බර් 19th, 2023

රංගවේදයෙහි නියැළෙමින් විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය කලා කරුවන් හා ශීල්පින් අගයනු වස් පුද කෙරෙන “රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල“ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල 50 වැනි වරට පැවැත්වූ අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කෙරිණි.

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව සුපෝෂණය කිරීම සඳහා සුවිශේෂ මෙහෙවරක යෙදුණු එම්. එම්. එම්. රාවුෆ් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුන්ට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මාන පිරිනැමිම සිදු කළ අතර, ජාත්‍යන්තර වශයෙන් නාට්‍ය කලාවට කරන ලද සේවය වෙනුවෙන් හිරාන් අබේසේකර , එම්. සෆීර්, සුජීව පතිනිසේකර, බී. ඒ සුබුද්ධි ලක්මාලි සහ දේශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා සිදු කරන ලද සේවාව උදෙසා නාලන් මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු ද මෙහිදී සම්මානට පාත්‍ර වූහ.

රාජ්‍ය නාට්‍ය උලෙළේ දිගු නාට්‍ය සිංහල අංශයෙන් හොඳම නළුවා ලෙස බෝනිකි ගෙදර 2 නාට්‍යයේ ජයනාත් බණ්ඩාර සහ හොඳම නිලිය ලෙස සුපර්ණකා දිගු නාට්‍යයේ උමා අසේනි රවීන්ද්‍ර සම්මානයෙන් පිදුම් ලැබූ අතර කෙටි නාට්‍ය සිංහල අංශයෙන් හොඳම නළුවා ලෙස ‘වේකන්සීයක් ඇත’ නාට්‍යයේ සඳුන් ප්‍රසාද් අබේකෝන් සහ හොඳම නිලිය ලෙස විජය භූමි කෙටි නාට්‍යයේ තිලිණි ජයමාලි යන මහත්ම මහත්මිහු මෙහි දී සම්මානයට පාත්‍ර වූහ.

ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණු අතර,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී ප්‍රදානය කළේ ය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) නිශාන්ති ජයසිංහ, අතිරේක ලේකම් (පාලන වැඩබලන) තිලක් නන්දන හෙට්ටිආරච්චි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල යන මහත්ම මහත්මිහු සහ කලාකරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.