
හාසික කන්දේගම ධනංජය රජමහා විහාරයේ, පැරණි සැතපෙන බුදු පිළිම වහන්සේ ප්‍රතිසංස්කරණ කර නැවත සසුනට පූජා කරයි…
ජනවාරි 31st, 2024දිඹුලාගල ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරයේ,
පැරණි සැතපෙන බුදු පිළිම වහන්සේ ප්‍රතිසංස්කරණ කර නැවත සසුනට පූජා කරයි !
නිදන් සොරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් මීට වසර ගණනාවක සිට විනාශ මුඛයට යමින් පැවැති දිඹුලාගල ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරයේ පිහිටා ඇති වසර එක්දහස් පන්සියයකට වඩා පැරණි සැතපෙන බුදු පිළිම වහන්සේගේ නේත්‍රා තැබීම සහ ප්‍රතිසංස්කරණ කර නැවත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31)සිදු කෙරිණි.
වර්තමාන විහාරාධිපති, ආචාර්ය කන්දේගම දීපවංසාලංකාර හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීමෙන් පරිත්‍යාගශීලින්ගේ මූල්‍ය දායකත්වයෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් මෙම පිළිම වහන්සේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.
මෙම පිළිම වහන්සේ විවිධ යුගයන්වල අවස්ථාවන් අටක දී ප්‍රතිසංස්කරණ කර තිබෙන බවට සාධක හඳුනා ගෙන ඇති අතර, ගඩොල් ආධාරයෙන් ඉදිකර තිබෙන මෙය හුණු බදාමය තාක්ෂණයෙන් කර තිබෙන වර්ණාලිප්ත පිළිමයක් ලෙස පුරාවිද්‍යා සාධක මඟින් තහවුරු කරයි.
අවස්ථා කිහිපයකදීම මෙම පිළිමයෙන් නිධන් ලබා ගැනීමේ අරමුණින් පිළිමය විනාශ කර ඇති අතර, පිළිමයේ පපු පෙදෙස , සිරස සහිත කොට්ටය , උදරය ,සිරිපතුල් හා පිළිමයේ ආසනය ආදියට දැඩි ලෙස හානි සිදු කර තිබිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නරුව ව්‍යාපෘතිය මඟින් 2020 වර්ෂයේ කැණීම් කොට මෙම සැතපෙන පිළිමය පාදාගන්නා ලද අතර අද වන විට එය සැදැහැවතුන් සඳහා වන්දනාමාන කිරීමට ප්‍රතිසංස්කරණ කර තිබේ.
ආණ්ඩුව මොන පක්ෂයක මොන පාටක උනත් රජය බෞද්ධ දර්ශන සුරැකිය යුතුයි. බෞද්ධ දර්ශනය සුරකිනවා කියන්නේ ධර්මය සහ ඊට අනුශාංශික වෙච්ච සියලු කරුණු සුරැකීම බව ද බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේ ය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ,පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.