ගීයෙන් හදවත් සුවපත්කරන වෙදඳුරාණෝ !

අප්‍රේල් 9th, 2024

සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි …//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

මේ සුමිහිරි වූ ගී කණ්ඩය සවනට වැකෙන විට චිත්තරූප මැවෙනා වූ ඒ ප්‍රතාපවත් සොඳුරු රූව සේම හඬෙහි හිමිකරුවා අප කෙසේ නම් අමතක කරන්නද? ඔහු නමින් දේවානන්ද වෛද්‍යයසේකරයන් ය.

කුඩාකළ සිටම සංගීතඥයකුවීමට සිහින මැවූ දේවානන්ද වෛද්‍යයසේකරයන්, සංගීතයට බොහෝ සෙයින් ආදරය කළේය.එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල සුභාවිත ගී ගොන්නට අමරණීය මතක රැසක් එක්කළ ඔහු, ගුවන්විදුලි ගායකයකු, චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ද පෑ ප්‍රතිභාව රසික හදවත් සොරා ගත්තේ ය.

මොකද මැණිකේ හනික යන්නේ, නීල නුවන් මහනෙල් මල්, සඳ පායා සිනා සී, පෙම් මදිරාවේ රන් කුසලානේ, ආශා දෑසින් දකිනා සිහිනේ, ඈත පිටිසර මහ කැලෑවක, පවන් සුසුම් දැලින් වෙළී ආදී එකළ අතිශයින් ජනප්‍රිය වූ ගීත රැසකම තම හඬ පෞරුෂය එක්කරන්නට දේවානන්දට හැකිවිණි.

මිනිසුන්ගේ හදවත් සුවපත් කරන්නට ගී ගෑයු ඔහු සැබෑවටම දහස් ගණන් වූ රෝගීන්ගේ ලෙඩ රෝග සුවපත් කළ වෛද්‍යවරයකි.තවමත් සංගීතය තම ජීවන ඔසුව කරගනිමින් ජීවිතය විඳිමින්,ජීවතයේ සැඳෑ සමය සංගීතයත් සමඟ ජීවත්වන සොඳුරු කලාකරුවෙකි.

දේවානන්ද වෛද්‍යයසේකර මහතාණෙනි, ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමු !