
සතර කෝරළයේ නර්තන ශිල්පී ඩී.කේ. සෙල්ලා ගුරුතුමාගේ සුවදුක් විමසයි…
මැයි 9th, 2024මෙරට උඩරට නර්තනයේ ගැඹුරු ශාස්ත්‍රීය අංග පිළිබඳ හසල අවබෝධයක් ඇති, එමෙන්ම දක්ෂ සහ ප්‍රවීණ නර්තන ශිල්පියෙක් වන සතර කෝරළයේ නර්තන ශිල්පී ඩී.කේ. සෙල්ලා ගුරුතුමාගේ සුවදුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඔහුගේ නිවසට ගියහ.
පාරම්පරික දක්ෂ උඩැක්කි නර්තන ශිල්පියකු වන සෙල්ල ගුරුතුමාගේ පරපුර අෂ්ඨ අවදානම් වැනි නෘත්‍ය ශිල්පීය දක්ෂතාවන්ට ප්‍රකටම සිටි සිංහල රජ පරම්පරාවන්ගෙන් ද ප්‍රසාද ලබා ගත් ඓතිහාසික පරපුරකින් පැවත එයි.
උඩරට නර්තනයන්, පන්තේරු නැටුම්, කොහොඹා කංකාරි, උඩරට බෙර වාදනයට මෙන්ම කාව්‍ය රචනය කෙරෙහිද උපන් හපන්කම් ඇති මොහු ” නුතන කාලගෝල, දීඝායු කුමාරයා, මල්ලිකා ” වැනි නාට්‍ය රචනා කොට රඟ දක්වා ජන ප්‍රසාදය දිනා ගෙන තිබේ.
සෙල්ලා ගුරුතුමා මෙරට කලාවට ආවේණික වූ නර්තනාංගයන් හා සංස්කෘතිකාංග හඳුන්වාදෙමින් 1962 වසරේ සිට සිසු පරම්පරාවන් පෝෂණය කිරීමට ද
විශාල වශයෙන් කැප වී ඇත.
එමෙන්ම දේශීය නර්තන කලාවට අමිල මෙහෙයක් ඉටුකළ සෙල්ලා ගුරුතුමා 1986 දී කලා භූෂණ සම්මානය ද 1990 දී කලා ප්‍රසාදිනි සම්මානයවලින් ද පිදුම් ලබා තිබේ.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.