උත්තම ජය ශ්‍රී මහා බෝධි රෝපණාභිවන්දනා’ පුණ්‍ය මහෝත්සවය ඔස්ට්‍රේලියාවේදී …

ජූනි 9th, 2024

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ බෝධිධම්ම විහාරයට වැඩමවන ලද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය රෝපණය කිරීමේ ‘උත්තම ජය ශ්‍රී මහා බෝධි රෝපණාභිවන්දනා ‘ පුණ්‍ය මහෝත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේදී අද (09) පැවැත්විණි.

මෙහිදී බෝධි අංකුරය රෝපණය කිරීම සහ සමරු පලකය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය අග්‍රාමාත්‍ය ජේසින්ටා ඇලන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එසේම පොළොන්නරුව සමාධි බුදු පිළිම වහන්සේගේ අනුරූපිළිමයක් ද නිරාවරණය කිරීම මහා සංඝරත්නයේ සහ සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු කෙරිණි.

අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නයේ අනුශාසකත්වය පරිදි මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරිණි.

එසේම බෙන්ඩිගෝ බෝධිධම්ම විහාරය අනුරාධපුර මහා විහාරයට භාර කිරීම ද මෙහිදී නිල වශයෙන් සිදු කෙරුණ අතර,ශ්‍රී ලංකාව,ඕස්ට්‍රේලියාව, වියට්නාමය, චීනය සහ ටිබෙට් රටවල්වලට අයත් සංස්කෘතික අංගරැසකින් මෙම පුණ්‍ය මහෝත්සවය අලංකාරවත් විය.

ලංකාරාමය විහාරාධිකාරී රළපනාවේ ධම්මජෝති නායක ස්වාමින් වහන්සේ, අභයගිරි විහාරාධිකාරී කල්ලංචියේ රතනසිරි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, විදේශීය මහා සංඝරත්නය, ඕස්ට්‍රේලියාවේ ජාජාරන් ආදිවාසීහු, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෝධිධම්ම විහාර කමිටු සභාපති දීප්ති වික්‍රමරත්න මහතා, ඕස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු, ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකේය ජනතාව ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.