
හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට පියවර…
ජූනි 19th, 2024නුදුරු අනාගතයේදීම හේවිසි වාදනය ලෝක උරුමයක් බවට පත් කරන බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ හේවිසි වාදන ශිල්පීන්ගේ නිහඬ සේවය ඇගයීම උදෙසා දඹවින්න රජමහා විහාරස්ථානයේ පැවැත්වූ ‘බදුලු හේවිසි හරසර’ උපහාර උළෙලට සහභාගිවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
මෙම සංස්කෘතික අංග ඇගයීමට ලක්කිරීම අමාත්‍යාංශයේ සහ රජයේ වගකීම හා යුතුකම වන අතර මෙය හේවිසි කලාවට පමණක් නොව මෙරට නර්තන කලාව සඳහාත් මෙවැනි වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද විදුර වික්‍රමනායක මහතා එහිදී වැඩිදුරටත් පැවසිය.
තම පාරපම්පරික ගුරුකුලවලින් ශිල්ප උගෙන දෙස් විදෙස් රටවල හේවිසි වාදනයෙන් ශ්‍රී ලංකේය නාමය සනිටුහන් කරමින් එම ශිල්පය අනාගත පරපුරට පවරණු වස් තරුණ පරපුර පුරුදු පුහුණු කරමින් සිදුකල මෙහෙය ඇගයීමත්, එමඟින් පාරම්පරික හේවිසි වාදන කලාව කෙරෙහි තරුණ පරපුර යොමු කරවීම
අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විණි.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය, උපහාරලාභී කලාකරුවන් හා ඥාතීන්, ප්‍රදේශයේ කලායතන ආචාර්යවරු, කලායතන සිසුදරුවන්, දහම් පාසැල් ගුරු භවතුන්, දහම් පාසැල් සිසු දරු දැරියන් හා ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.