
ස්විස්ටර්ලන්තයේ තිබු අපේ ආදිවාසීන්ගේ අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට…
ජූනි 12th, 2024ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදිවාසී මානව අස්ථි හා සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කිරීම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ ලෝටස් ලොන්ජ් ශාලා පරිශ්‍රයේදී අද (12) පැවැත්විණි.
මෙරට අයිතිය අපට වඩා ආදිවාසී පරපුරට අයත් බවත්, ඒ අනුව එම අස්ථි සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ නැවත මෙරටට ලබා ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මාධ්‍ය සාකච්ඡාවේ දී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ පුරාවිද්‍යා වටිනාකමින් යුතු කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් පසුගිය වසරේ දී ද නෙදර්ලන්ත රාජ්‍යයෙන් මෙරටට ගෙන්වා ගත් බවත්, එහි දෙවන පියවරක් ලෙස ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙරට ආදිවාසීන්ගේ මානව අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ ගෙන්වා ගැනීම සිදුකළ බව ද අමාත්‍යවරයා එහිදී පැවසිය.
ඒ අනුව ස්විස්ටර්ලන්තයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ සහ සංස්කෘතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙරට ජීවත්වූ ආදිවාසීන්ගේ සම්පුර්ණ අස්ථි කොටස් සහිත සිරුරු දොළහක්, හිස්කබල් තිහක් සහ කිලෝ ග්‍රෑම් හාරසියක බරකින් යුතු සංස්කෘතික කෞතුක භාණ්ඩ රැසක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවූ බවත්, මෙම අස්ථි සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ දඹාන වරිග මහගෙදර ඉල්ලීමට අනුව ස්විස්ටර්ලන්ත රජයේ අනුමැතිය පරිදි ඔප්පුවක් මඟින් ලබා දුන් බවත්, මෙම අස්ථි කොටස් සහ සංස්කෘතික භාණ්ඩ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා එහිදී සඳහන් කළේය.
ඉපදුණු භූමියේදීම භූමදානය සිදු කිරීම අප පරම්පරාවේ චාරිත්‍රයක් බවත්, ඒ අනුව අප ආදිවාසීන්ගේ අස්ථි කොටස් භූමදානය කරන තෙක් මොවුන් තවමත් මෙම භූමියට ණයකරුවන් බවත්, එම ණයෙන් ඔවුන්ව නිදහස් කිරීම වර්තමාන ආදිවාසී නායකයා ලෙස මගේ වගකීම යැයි ද ඌරුවරිගේ වන්නිල ඇත්තන් එහිදී පැවසීය.
මෙම මානව අස්ථි සහ කෞතුක භාණ්ඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් නැවත අදියර තුනක් යටතේ පර්යේෂණ සිදුකර, මාස හයකින් පසුව දඹාන ආදිවාසී කෞතුකාගාරයේ තැන්පත් කරන බව ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. එම්. පත්මලාල් මහතා එහිදී කිවේය.
මෙරට ආදිවාසී මානව අස්ථි හා සංස්කෘතික භාණ්ඩ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වෙත භාරදීම සහ නැවත පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා දඹාන වරිග මහගෙදර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර ගිවිසුම් අත්සන් කිරීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම මාධ්‍ය සාකච්ඡාව අවසානයේ දී ‘කිරිකොරහ’ ශාන්තිකර්මය ආදිවාසීන් විසින් සිදු කළ අතර එයින් මෙම අස්ථි කොටස්වලට අයත් ආත්මයන් නිදහස් කිරීම සිදුවන බව තමන් විශ්වාස කරනවා යැයි එහිදී ආදිවාසීහු සඳහන් කළහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් බුවනෙක හේරත්, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු වන කේ. ඒ. ඩි. ආර්. නිශාන්ති ජයසිංහ, සුජීවා පල්ලියගුරු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංජී යසවර්ධන, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, ජාතික උරුම අංශ අධ්‍යක්ෂ (සැලසුම්) සෝමසිරි ඒකනායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ