
‘අන්තර්ජාතික අධිලේඛන දින’ සමාරම්භක උත්සවය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී …
ජූනි 9th, 2024අන්තර්ජාතික අධිලේඛන සතිය නිමිති කරගනිමින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද ‘අන්තර්ජාතික අධිලේඛන දින ‘ වැඩසටහන සහ සමාරම්භක උත්සවය ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී අද (09) පැවැත්විණි.
ඒ අනුව ජාතික ලේඛනාගාරයේ අධිලේඛනවල මාර්ගගත සුචිය ජනගත කිරීම, දූව පාස්කු නාට්‍ය පිළිබඳ කෙටි වීඩියෝ වැඩසටහනක් හා පුත්තලම සිරම්ඹි අඩියේ සිලෝන් අප්‍රිකානු මාඤ්ජ සංගීත කණ්ඩායමේ සංගිත අංගයක් එහිදී ප්‍රදර්ශනය කෙරිණි.
සංරක්ෂණ කාර්යයට විශාල අනුග්‍රහයක් දුන් උරුමකරුවන් 10 දෙනෙකුට සහ සංරක්ෂණ තාක්ෂණික කාර්යයට ඉමහත් දායකත්වයක් ලබාදුන් ශිල්පීන් 05 දෙනෙකු සඳහා සේවය අගයන ප්‍රණාම ඵලක ලබාදීම ද එහිදී සිදු කෙරිණි.
ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය හා අස්පර්ෂනීය උරුමය පිළිබඳ සංරක්ෂණ වැඩසටහන් මෙම සතිය පුරාම සංවිධානය කොට ඇති අතර මෙම වැඩසටහන් මාලාවට සමගාමීව ජාතික ලේඛනාගාරය විසින් ඩිජිටල්කරණය කර සංරක්ෂණය කරන ලද කළු සුදු චිත්‍රපට යුගය නියෝජනය වන චිත්‍රපට එකතුවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සංකල්පයක් මත එම අමාත්‍යාංශය හා ඒකාබද්ධව මහජනයා වෙත නොමිලේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.
මහාචාර්ය ජේ.බී. දිසානායක, ප්‍රවීණ රංගන ශිල්පිනී වීණා ජයකොඩි, ප්‍රවීණ රංගන ශිල්පී දමිත් ෆොන්සේකා,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, මහාභාරකාරතැන ගිහාන් පිලපිටිය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් නදීරා රූපසිංහ යන මහත්ම මහත්මීහු, කලාකරුවන්, දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.