‘කලාකරු සුවදම්’ වැඩසටහන යටතේ හේමසිරි ලියනගේ මහතාගේ සුව දුක් විමසයි …

ජූලි 2nd, 2024

නිදහසෙන් පසු ශ්‍රී ලාංකේය දේශපාලනයේ සිදු වූ විකාශනය පිළිබිඹු කරමින් නාට්‍යකරණයේ නියැළුණු රංගවේදියෙකු හා කලාකරුවෙකු වන හේමසිරි ලියනගේ මහතාගේ සුව දුක් විමසීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් කැස්බෑවේ පිහිටි ඔහුගේ නිවසට ගියහ.

හේමසිරි ලියනගේ මහතා 1964 දී කලා උපාධිධාරී අපේක්ෂකයකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී “ජාතික නාට්‍ය සංස්ථාව“ නමින් විශ්වවිද්‍යාලය තුළ ම නාට්‍ය සංවිධානයක් ගොඩනැඟු අතර හොරණ විද්‍යාරතන විද්‍යාලයේ ඉගැන්වීම ආරම්භ කරමින් උසස් පෙළ සිසුන්ට ආර්ථික විද්‍යාව සහ අතිරේක විෂයයක් ලෙස නාට්‍ය කලාව ද ඉගැන්වීම ආරම්භ කළේ ය.

එසේම හැටේ දශකයේ සිට අසූව දශකය දක්වා වේදිකා නාට්‍ය රචනය සහ නිෂ්පාදනයේ හා සිංහල නාට්‍ය කලාවේ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරයකු ලෙසත් ‘අඹ යහළුවෝ’, ‘අසල්වැසියෝ’, ‘තට්ටු ගෙවල්’ වැනි ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකත්වය ලබාදී රසික හදවත් තුළ නොමැකෙන මතක ඉතිරි කළ අතර
‘මේ මගේ සඳයි’, ‘ගුරු ගෙදර’, ‘සළෙළු වරම’, ‘මචං’, ‘බවදුක’, ‘බව කර්ම’, ‘චන්න කින්නරී’, ‘සංක්‍රාන්ති’, ‘සප්ත කන්‍යා’, ‘මධුර චාරිකා’, ‘සුළඟ එනු පිණිස’ ඔහු රංගනයෙන් දායක වූ ලාංකේය සිනමා ඉතිහාසයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්වේ.

මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන,කළමනාකරණ සේවා නිලධාරී දිනිති ඩී. ගරුසිංහ, සංවර්ධන නිලධාරී ශාමලී බණ්ඩාර, පළාත් සංස්කෘතික නිලධාරිනී ලලනි එස්. ප්‍රේමසිරි, කැස්බෑව සංස්කෘතික නිලධාරිනී එච්.එච්. එස්. කුමුදුනී යන මහත්මීහු එක්ව සිටියහ.