අනු­රා­ධ­පුර වෙස්ස­ගි­රිය උරුම උද්‍යා­න­යක් කරයි …

ජූලි 13th, 2024

පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන නිමිති කරගනිමින් ඓති­හා­සික අනු­රා­ධ­පුර වෙස්ස­ගි­රිය පුරා­විද්‍යා ස්ථානය ‘උරුම උද්‍යා­න­යක්’ බවට පත් පත්කි­රීමේ
සමා­ර­ම්භක උත්ස­වය බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ආමත්‍ය විදුර වික්‍ර­ම­නා­යක මහ­තාගේ ප්‍රධානත්වයෙන් අද (13) සිදු කෙරිණි.

මෙහිදී වෙස්ස­ගි­රියේ දී පර්යේ­ෂණ කට­යුතු සඳහා පර්යේ­ෂ­ක­යන්ට අව­ස්ථාව ලබා­දීම,නර­ඹ­න්නන්ගේ මාන­සික සුව­තාව ඇති කිරීම,විවේක ස්ථාන පිහි­ටු­වීම ආදී කාර්ය­යන් රැසක් සිදු කිරීම සඳහා සැල­සුම් කර තිබේ.

වෙස්ස­ගි­රිය උරුම උද්‍යා­න­යක් බවට පත් කිරීමේ මූලික අදි­යර යටතේ එහි අක්කර 26කින් යුත් සමස්ත ස්මාරක භූමිය ප්‍රද­ර්ශන මට්ට­මට සකස් කිරීමේ කට­යුතු පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­රා­ධ­පුර ප්‍රාදේ­ශීය කාර්යා­ලය මඟින් සිදු කර ඇත.

අතීතයේ දේවල් මතු කරගන්නවා වගේම ඒවා අද සහ හෙට දවසට කෙතරම් උපයෝගී වෙනවාද යන්න පිළිබඳව සිදු කෙරෙන වැඩපිළිවෙළට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සූදානම් වෙලා සිටින බවත් එහි නව පරිච්ඡේදයක් ලෙස වෙස්සගිරිය උරුම උද්‍යානය ආරම්භ කළ බවත් එහි පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.

එසේම වෙස්සගිරියේ නිවැරදි ඉතිහාසය මහජනතාව අතරට ගෙන යෑම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත අතර ඒ ඔස්සේ මෙම ස්ථානය දියුණු කර සංචාරක ව්‍යාපාරයත් සමඟ බද්ධ කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආදායම් උත්පාදනය කරන ස්ථානයක් බවට ඉදිරියේදී පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී තුසිත මැන්දිස් මහතා එහිදී ප්‍රකාශ කළේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.