ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් රැක ගන්න යුනෙස්කෝ සංවිධානයේ පූර්ණ සහාය …

ජූලි 18th, 2024

පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන වෙනුවෙන් සිදු කිරීමට නියමිත සිංහ පාද මළුව භූමිය පාදා ගැනීම, තහවුරු කර ගැනීම සහ එම භූමිය පරිහරණයට පහසු වන ආකාරයට සකස් කිරීමට අවශ්‍ය කැණීම් සංරක්ෂණ කටයුතු යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි.

සිංහපාද මළුවට පිවිසීම සඳහා නව පිවිසුමක් ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු අද ආරම්භ වූ අතර
සීගිරිය ආශ්‍රිත පුරාවිද්‍යා පරිශ්‍රයේ වර්තමාන තත්ත්වය, ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංවර්ධන කාර්යයන් සහ ඒ සඳහා යුනෙස්කෝ සංවිධානය මඟින් ලබා දිය හැකි මූල්‍යමය හා තාක්ෂණික උපකාර පිළිබඳව සොයා බැලීම ද මෙහිදී සිදු කෙරිණි.

එසේම යුනෙස්කෝ සංවිධානය ආධාර ලබා දුන්, මේ වන විට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පරීක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර ඉදිරියේ දී යුනෙස්කෝ සංවිධානයේ ආධාර උපකාර වැඩි වශයෙන් ලබා දියයුතු ව්‍යාපෘති පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරිය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සමඟ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත වූවාය.

ඒ අනුව තවදුරටත් ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන් රැකගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ සම්පූර්ණ සහාය ලබා දෙන බවද අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය පවසා සිටියාය.

යුනෙස්කෝ සංවිධානයේ නියෝජිත පිරිස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු වන කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, තිලක් හෙට්ටිආරච්චි, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ඩී.තුසිත මැන්දිස්, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, පුරාවිද්‍යා පශ්චාත් උපාධිය ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.