
ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උලෙළ අති උත්කර්ෂවත්ව මන්නාරම සිලාවතුරෛ දී…
ඔක්තෝබර් 22nd, 2023ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය නිමිත්තෙන් සැමරුම් උලෙළක් මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුරෛ මුස්ලිම් මහා විද්‍යාලයේ දී අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත්ව පැවැත්විණි.
ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අෂේක් බී. නිහමතුල්ලාහ් මව්ලවිතුමා සිදු කළ අතර, ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කෙරුණු අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත එහිදී පිළිගන්වනු ලැබීය.
නබිනායකතුමාගේ උපන්දින සැමරුමට සමගාමීව පැවැත්වූ නිර්මාණ තරඟවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්වරු අතින් එහිදී සිදු කෙරිණි.
දීර්ඝ කාලයක් මුස්ලිම් පල්ලිවල සේවය කළ මව්ලවිතුමන්ලාට ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කළ අතර ප්‍රදේශය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ මහාචාර්යවරයෙකු වන අභාවප්‍රාප්ත හස්බුල්ලා මහතා වෙනුවෙන් සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් උලෙළ සංවිධානය කළ අතර, ජනාධිපති ආරක්ෂක අංශය, ජනාධිපති මාධ්‍ය අංශය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සිලාවතුරෛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කළහ.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්.ෆයිසල් යන මහත්වරු සහ තානාපතිවරු, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.