බෞද්ධ ජාතික බලවේගයේ නියමු එල්.එච්.මෙත්තානන්ද සුධීමතුන්ගේ 130 වන ජන්ම දිනය සැමරේ …

මාර්තු 19th, 2024

කොළඹ ආනන්ද විද්‍යාලයේ නව පුනරුදය ඇති කළ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයකු වූ එල්.එච්. මෙත්තානන්ද සුධීමතුන්ගේ 130 වන ජන්ම දින සැමරුම කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී අද (19) පැවැත්විණි.

දිවයිනේ ප්‍රධානතම බෞද්ධ පාසල් ත්‍රිත්වය වන කොළඹ ආනන්ද , නාලන්දා සහ මහනුවර ධර්මරාජ යන විද්‍යාලයන්හි විදුහල්පති ලෙස සේවය කළ ඔහු ගුරුවරයකු, විදුහල්පතිවරයකු මෙන්ම අධ්‍යාපනඥයකු වශයෙන් කීර්තිමත් නොමැකෙන සේවයක් ඉටු කළ යුග පුරුෂයෙකි.

එවකට බෞද්ධ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට එරෙහිව ආරම්භ කළ බෞද්ධ ජාතික බලවේගයේ නියමුවා ලෙස ද එල්.එච්. මෙත්තානන්ද මහතා හඳුන්වයි.

මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ අනුනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටපිටියේ ශ්‍රී රාහුල, සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු බස්නාහිර දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බලංගොඩ සෝභිත, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය ඉත්තදෙමළිය ඉන්දසාර නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු, ආනන්ද සහ නාලන්දා විද්‍යාල විදුහල්පතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.