මුල් පිටුව » ජනාධිපතිගේ පණිවුඩය

ජනාධිපතිගේ පණිවුඩය

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වූ ශ්‍රී ලංකාද්වීපය තෙවරක් පූජාකර, සඟ සතු කළ සාංගික භූමියකි. අතීතයේ මෙන්ම අදටත් මේ පරම ගම්භීර ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මෙරටට පැමිණෙන සිව්වනක් පිරිසෙහි අඩුවක් නැත‍.

ශ්‍රී සම්බුදු සසුන ලෝක සත්වයාගේ දෙලොව හිත සුව පිණීස සුරක්‍ෂිත කිරීම බෞද්ධයන් වන අපගේ පරම යුතුකමකි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා ගත් ප්‍රවේශය කාලෝචිතය, අර්ථවත්ය.

පුද්ගල සංවර්ධනය සමාජ ප්‍රගමනයට මෙන්ම තමන් වාසය කරන, ඇසුරු කරන සහ පරිහරණය කරනු ලබන සියල්ලේ ආරක්‍ෂාව, ඵලදායිතාව සහ පැවැත්ම තීරණය කරනු ලබන අතර, එය කළ හැක්කේ ආධ්‍යාත්මික හික්මීමක් සහිත සංස්කෘතික වශයෙන් ඔපමට්ටම් වූ පුද්ගලයෙකුට පමණි.

පුළුල් පරාසයක පැතිර පවතින සංස්කෘතික වටිනාකම්, හරයන් වඩාත් අර්ථාන්විතව ප්‍රයෝජනයට ගැනීමෙහිලා අවශ්‍ය කරන චර්යාත්මක සංවර්ධනය ආගම් විසින් පුහුණු කරනු ලබයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ “වෙබ් අඩවිය” යාවත්කාලීන කිරීම, තොරතුරු සහ මිනිසා අතර පවතින හිඩැස ආවරණය කිරීමට ඉවහල් වනු නොඅනුමානය.

පුද්ගල චරිත සංවර්ධනයට අවශ්‍ය බෞද්ධ දර්ශනය ඇතුළු සෙසු ආගමික ප්‍රතිපදාවන් පමණක් නොව අන්‍ය සමාජ සංස්කෘති පිළිබඳ එකිනෙකාට වීමංසනය කිරීමට ද මෙම වෙබ් අඩවියෙන් අවස්ථාව එළ‍ැඹෙතැයි මම අපේක්‍ෂා කරමි.

යාවත්කාලීන කරනු ලබන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ “වෙබ් අඩවිය” සමස්ත සමාජයටම සංවාදාත්මක සාකච්ඡා මණ්ඩපයක්, එකිනෙක සංස්කෘතීන් හුවමාරු කරගෙන අවබෝධ කර ගැනීමට ප්‍රවේශද්වාරයක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති